දැව හානි වන ක්‍රම අතුරෙන් ප්‍රධාන ක්‍රමයක් වන්නේ කෘමි හා වෙනත් ජීවී කොටස් මඟින් වන හානියයි. විවිධ පරිසර තත්ත්ව යටතේ වෙනස් වූ කෘමීන්, දිලීර හා වෙනත් ජීවී කොටස් දැව වලට හානි කරයි. විශේෂයෙන් වේයන්, දැව විදින්නන්, දැව ගුල්ලන්, දැව කුරුමිණියන් වැනි කෘමීන් සහ දුඹුරු කුණුවීම, ශ්වේත කුණුවීම වැනි දිලීර හානිද අපට බහුල වශයෙන් දැක ගත හැකිය.
මෙම හානි වලින් දැව ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම දැව පරිරක්ෂක (wood preservative) යෙදිය යුතුය. කිසිම මතුපිට ආලේපනයක් මඟින් ජීවී කොටස් වලින් වන හානියට පිළියමක් කල නොහැක. ඊට හේතුව වන්නේ කෘමි හානි වලකන රසායනික මිනිස් සිරුරටද හානිදායක වන නිසා සහ එවැනි රසායනිකයක් දැව මතුපිට යොදාගැනීම සුදුසු නොවන හෙයිනි. අනිවාර්යයෙන්ම පරිරක්ෂණය කල දැව නියමිත පරිදි මතුපිට ආලේපනයක් මඟින් ආවරණය කිරීම අත්‍යාවශ්‍යවේ.
දැව පරිරක්ෂණය සඳහා යොදාගැනෙන රසායනික කිහිපයක්ම ඇති අතර ඒ අතර වඩාත් විෂ සහිත බෝරෝන්, C.C.A. වැනි බැරලෝහ වර්ගද වේ. මින් සමහරක් ශ්‍රී ලංකාව තුල මේ වනවිට තහනම් කර ඇත. මෙහිදී සඳහන් කලයුතු වැදගත්ම කරුණ වන්නේ මෙවැනි අධි විෂ රසායනික වැඩබිමේදී භාවිතය නුසුදුසු වන බව සහ ඒ සඳහා නියමිත පරිදි සකස් කල පරිරක්ෂකාගාරයක් තුල සිදුකල යුතු බවය.
විසරණය, පීඩක/රික්තක ක්‍රමය, ගිල්වීම ආදී පරිරක්ෂක යොදන ක්‍රම බොහොමයක් ඇතත් ශ්‍රී ලංකාව ගත් කල බොහෝ ප්‍රදේශවල මෙසේ පරිරක්ෂණය නොකල දැව වැඩ බිම් / නිවෙස් වලදී යොදා ගැනේ. එවැනි අවස්ථාවක උසස් තත්ත්වයේ දැව පරිරක්ෂකයක් බුරුසු මඟින් අනිවාර්යයෙන්ම යෙදිය යුතුය.
බොහෝ දෙනෙකු දැව සඳහා පිටත ආලේපනය ගැන, විශේෂයෙන් වර්ණය සහ නිමාව ගැන සැලකිලිමත් වන නමුත් දැව පරිරක්ෂක ගැන දක්වන සැලකිල්ල අඩු බව පෙනේ. නමුත් අප වැඩිම අවධානය යොමු කල යුත්තේ දැවය හොඳින් පරිරක්ෂණය කිරීම කෙරෙහිය. විශේෂයෙන් කෘමි හානි දැවයට ඇතුලතින් හානිකර අපට පෙනෙන අවස්ථාව වන විට නැවත පිරියම් කල නොහැකි ලෙස හානිවී තිබේ. බොහෝ නිවෙස් වල පැන්ට්‍රි කබඩ් සහ වෙනත් දැව යෙදවුම් කෙටි කලකින් දැව ගුල්ලන් සහ කුරුමිණියන් විසින් හානි කර ඇති අවස්ථා අප දැක තිබේ. බොහෝ අවස්ථාවල නැවත මේ යෙදවුම් නිර්මාණය සඳහා දැව වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවේ. වහලයෙහි ලී දඬු ආදිය මේ ආකාරයට පත්වුවහොත් එය නිවැසියන්ට අවදානමක්ද ඇති කරයි.
උසස් තත්ත්වයේ දැව පරිරක්ෂකයක් දැවයෙහි සෑම පැත්තක්ම ආවරණය වන පරිදි ආලේපයෙන් මෙම කෘමි හා දිලීර හානි වලකාගත හැකිය. මෙහිදී උසස් තත්ත්වයේ දැව පරිරක්ෂකයක් සතු ගුණාංග ඔබට පැහැදිලි කිරීම වටී යැයි සිතමි.
මූලිකවම හොඳ දැව පරිරක්ෂකයක් වේයන් ඇතුලුව දැවය මුහුණ දෙන යෙදවුමේ අවදානමට අනුව සියලුම ජීවී කොටස් වලින් වන හානි වැලකීමට සමත්විය යුතුය.
එමෙන්ම පරිරක්ෂකය ආලේප කලවිට එය දැවය තුලට උරාගන්නා ප්‍රමාණය සහ දැවය තුල කොපමණ දුරක් ගමන් කරන බව පරීක්ෂණ වලින් සහතික කර ඇත්දැයි බැලිය යුතුය. පරිරක්ෂකය දැවය තුලට ගමන් කරන දුර අවම නම් දැව සැකසීමේදී සහ භාවිතයේදී හානිවන ස්ථානයක් කෘමීන්ට ඇතුල්වීමට දොරටුවක් විය හැකිය. මේ නිසා අවම වශයෙන් මිලිමීටර 4-5ක් වත් දුරට ගමන් කල හැකි පරිරක්ෂකයක් තෝරාගැනීම වටී.
එමෙන්ම බොහෝ බාල තත්ත්වයේ පරිරක්ෂක ආලේප කල විට දැවයේ මතුපිට පෙනුම සහ වර්ණය වෙනස් වීම, ලප ඇතිවීම සහ තෙල් වැනි තට්ටුවක් ඇතිවීම සිදුවිය හැකිය. මෙවිට අප බලාපොරොත්තුවන නිමාව සඳහා අවශ්‍ය වන මතුපිට ආලේපන යෙදීමට බාධාවක් වේ. හොඳ පරිරක්ෂකයක් නම් එය ආලේප කර වියලුනු විට එම ආලේපය කිරීමට පෙර දැවය තිබූ මුල් ආකාරයටම දැවය තිබෙනු ඇත.
මේ කරුණු තිබෙන අතරම පරිරක්ෂකය යොදන්නාට සහ පසුව එම දැව යෙදවුම භාවිත කරන්නන්ට සෞඛ්‍යාරක්ෂිත විය යුතුය. අප රටෙහි තවමත් සමහර අධි විෂ රසායනික සහ බැරලෝහ වර්ග තහනම් නොමැති නිසා, එවැනි ද්‍රව්‍ය යොදා නිපදවන පරිරක්ෂක පිළිකා සහ වෙනත් රෝග සඳහා හේතුවිය හැකිය. යුරෝපය තුල නිපදවන නිෂ්පාදනයක් නම් සහ එය යුරෝපියානු තත්ත්ව සම්මතයන්ට අනුකූල නම් එය වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ.
අවසාන වශයෙන් අප නිවැරදි කලයුතු භාවිතාවක් තිබේ. එනම් ශ්‍රී ලාංකික සමාජය වුඩ් ප්‍රිසර්වේටිව්(wood preservative) හඳුන්වන නාමයයි. දැවාරක්ෂක කී පමණින් අප හඳුනාගන්නේ වුඩ් ප්‍රිසර්වේටිව් වන අතර එය දැව පරිරක්ෂක විය යුතු බව අපේ දැනීමයි. දැව ආරක්ෂක කියූ විට එය කෘමි හානි වලින් පමණක් නොව අනෙකුත් සාධක වලින් දැව රැකදෙන නිෂ්පාදන සඳහා ද අදාල වේ. එම නිසා වුඩ් ප්‍රිසර්වේටිව් සඳහා වන නිවැරදි සිංහල වචනය දැව පරිරක්ෂක වේ.