Skip to Content

Article 3- දැව හානිවන ක්‍රම සහ හානිවීමේ අවදානම හඳුනාගනිමු

දැව ආරක්ෂණය ගැන කතා කරනවිට අපි මීලඟට දැනගතයුතු වැදගත්ම කරුණ නම් දැව හානිවීම සඳහා බලපාන සාධක නැත්නම් හේතු මොනවාද යන්නයි. එම හේතු හඳුනාගෙන නිවැරදිව ඒවා වැලකීමට කටයුතු යෙදීමෙන් දැව හානි වලකා දිගුකල් පැවැත්ම සහතික කලහැකියි.

දැව හානි සිදුවන ආකාර අපට ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදා දැක්විය හැකියි. ඒ කෘමිහානි ඇතුලුව ජීවී කොටස් නිසා වන හානි (Biological Impacts), පාරිසරික හා කාලගුණික සාධක නිසා වන හානි (Atmospheric Impacts) සහ භාවිතය නිසා වන හානි යනුවෙනි.

ජීවී කොටස් නිසා සිදුවන හානි ගණයට ඇසට පෙනෙන කෘමින්ගෙන් සිදුවන හානි මෙන්ම දිලීර, පුස් ආදී හානිද ඇතුලත් වේ. මෙහිදී විශේෂයෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ස්ථානයෙන් ස්ථානයට වෙනස් වන ජීවී කොටස් සිටිය හැකිය. එමෙන්ම අමුදැව, පදම් කල දැව මෙන්ම ගෘහභාණ්ඩ යන අවස්ථාවලදී හානිකරන කෘමි වර්ග වෙන් වෙන් වශයෙන්ද හඳුනාගත හැක. සමහර කෘමීන් මේ සියලු අවස්ථාවල ඇති දැව වලට හානි කරයි. ප්‍රධාන වශයෙන් ගත් කල කඳන් විදින්නා, දිගු ස්පර්ශක කුරුමිණියා, ගෘහභාණ්ඩ කුරුමිණියා, දැව විදින ගුල්ලා, අම්බලම් පාළුවා, වේයා, අධෝභෞමික වේයන්, මුහුදු දැව විදින්නා යන කෘමිසතුන් අපට බහුලව හඳුනාගතහැක. දිලීර සහ ක්ෂුද්‍රජීවී හානි සලකන  කල දුඹුරු කුණුවීම (Brown rot/dry rot) , ශ්වේත කුණුවීම (white rot/et rot), මෘදු කුණුවීම (soft rot) , පැල්ලම් සහ පුස් (stain & moulds) අපට හඳුනාගතහැකිය.

ජීවී කොටස් වලින් දැවවලට සිදුවන හානිය වලක්වාගැනීමට නම් අනිවාර්යයෙන්ම දැව පරිරක්ෂණය (wood preservation) කල යුතුය. කුමන මතුපිට ආලේපනයකින්වත් මෙම ජීවී කොටස්වල හානිය වැලකෙන්නේ නැත.

බුරුසු මඟින් ආලේපය, ස්ප්‍රේ මඟින් ආලේපය, ගිල්වීම මඟින් ආලේපය, උණුසුම් සහ සිසිල් ක්‍රමය, විසරණය සහ පීඩන ක්‍රමයෙන් දැව පරිරක්ෂණය කලහැක. මේ අතරින් වැඩ බිමෙහිදී අපට කලහැකි පහසුම ආරක්ෂිතම ක්‍රමය වන්නේ බුරුසු මඟින් ආලේපයයි. දැව පරිරක්ෂක (wood preservative) ගැන අපි වෙනත් ලිපියකින් දීර්ඝව සාකච්ඡා කරමු.

පාරිසරික සහ කාලගුණික සාධක ගත්විට අපට ප්‍රධාන වශයෙන් අව්ව සහ වැස්ස බලපායි. හිරුඑළියෙන් ලැබෙන අධෝරක්ත කිරණ නිසා දැව මතුපිට අලු පැහැයට හැරී ස්වාභාවිකව දිරායාමට ලක්වේ. එමනිසා දැවය මතුපිට අධෝරක්ත කිරණ වලකන (UV resistant) ආලේපයක් / ආවරණයක් යෙදීම අවශ්‍යවේ.  එමෙන්ම වැස්ස සහ ජලය දැව දිරායාමට මෙන්ම දැව භාණ්ඩ වල වෙනස්විම් / ඇද පලුදු ඇතිවීමට හේතුවේ. දැව තුල ජලය වැඩි වශයෙන් එක්වූ විට දැවයෙහි ඇතුලත සෛල විනාශවී මෘදු බවට පත්වේ. එමෙන්ම එය වෙනත් කෘමිහානි වැඩිකිරීමටද උපකාරීවේ. මේ නිසා දැවය තුලට ජලය හා ජල වාෂ්ප ගමන් නොකරන සේ බාධක ආලේපයක් යෙදීම අවශ්‍යවේ. ආලේපනයක මේ ගුණාංගය වෝටර් පෲෆ් (water proof) ලෙස අපි හඳුන්වමු. ජල විකර්ශක (water repellent) ගුණාංගයද සිරස් දැව මතුපිටකදී වැදගත් වන නමුත් වෝටර් පෲෆ් වීම අනිවාර්ය සාධකයකි.

මේ ප්‍රධාන සාධක දෙකට අමතරව උෂ්ණත්ව වෙනස් වීම් ආර්ද්‍රතාවය (humidity) වැනි හේතුද දැව විනාශ වීමට බලපායි. උෂ්ණත්ව වෙනස්වීම අප රටට එතරම් බල නොපෑවද, ආර්ද්‍රතා වෙනස්වීම් මත දැව හැකිලීම සහ ඉදිමීම නිසාද දැව ඉරිතලා යාම නිසාද දැව හානිවිය හැකිය. මේ තත්ත්වයෙන් දැව රැක ගැනීමට නම් දැව හොඳින් පදම් කිරීම මෙන්ම මයික්‍රෝ පෝරස් (micro-porous) ගුණාංගය සහිත ආලේපයක් යොදාගැනීමද වැදගත්වේ. දැව වල හුස්ම ගැනීම සහ මයික්‍රෝපෝරස් ගුණාංගය ගැන අපි ඉදිරි ලිපියකින් කතාකරමු.

දැව යෙදවුම අනුව භාවිතය නිසා වෙනස් වන හානිකර සාධක අපට හඳුනාගත හැකිය. ගෙබිමක් ගත් කල ඒ මත නිතර ඇවිදීම නිසා ගෙවීයාම සිදුවේ. සීරීම් සිදුවේ. ජලය හෝ වෙනත් දේ නිසා පැල්ලම් ඇතිවේ. මේ ආදී කරුණු හඳුනාගෙන ඒවායෙන් දැවය රැකදෙන නිවැරදි මතුපිට ආලේපනයක් යෙදීමෙන් දැවයට වන හානිය වලකාගත හැකිය.  

මීට අමතරව දැව යෙදවුම ඇති ස්ථානය අනුව හානිවීමේ අවදානම හඳුනාගැනීම තුලින් ඊට අවශ්‍ය පිළියම් යෙදීම කලහැක. EN335-2013 යුරෝපියානු තත්ත්ව සම්මතයට අනුව දැව කල්පැවැත්ම භාවිත කාණ්ඩ(Use Classes) 5කට බෙදා දක්වා ඇත.

Class 1 - ඇතුලත ස්ථන, පරිසරයට නිරාවරණය නොවේ

Class 2 - ඇතුලත ස්ථාන, ජලයට හෝ ජල වාෂ්ප වලට විටින් විට පමණක් නිරාවරණය වන

Class 3 - පරිසරයට/කාලගුණයට නිරාවරණය වන ස්ථාන, පොලොව මට්ටමෙන් ඉහල

Class 3.1 - ජලයට තෙමෙන නමුත් බොහෝ වේලා ජලය රැඳී නොපවතින

Class 3.2 - බොහෝ විට ජලය රඳා පවතින, ආවරණය කර නොමැති ස්ථාන

Class 4 - කෙලින්ම පොලොව හා සම්බන්ද වන යෙදවුම්

Class 5 - ලවණ ජලයෙහි ඇති දැව යෙදවුම්

මේ එක් එක් කාණ්ඩයට අනුව දැව හානිවීමේ අවදානම සහ කල්පැවැත්ම වෙනස් වේ. ඒ නිසා එම කාණ්ඩයට අනුව යෙදිය යුතු ප්‍රතිකර්ම වෙනස්වේ. වැඩිම අවදානමක් ඇති 3.2 වැනි කාණ්ඩයකදී ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම නිවැරදිව නොයෙදුවහොත් ඉත ඉක්මණින් දැව විනාශ විය හැකිය. මෙහිදී ආලේපන තෝරාගැනීම පමණක් නොව සුදුසු දැව තෝරාගැනීම, නිවැරදිව ජලය බැසයන ලෙස භාණ්ඩය/ඉදිකිරීම නිර්මාණය කිරීම, හිරු එළිය වැටෙන කෝණය හානි අවම වන ලෙස දිශානුගත කිරීම වැනි බොහෝදේ සැලකිය යුතුය.

නිවැරදි දැව ආරක්ෂණ ක්‍රම අනුගමනය තුලින් දැවයක ස්වාභාවික කල්පැවැත්ම කිහිප ගුණයකින් වැඩිකල හැකිය. එමඟින් ඒ වෙනුවෙන් වන වියදම අවම කල හැකිවාක් මෙන්ම හෙටදින මිහිතලය සුරකින්නටද දායකත්වයක් සපයන බව අමතක නොකරන්න.

Article 2 - දැව හඳුනාගනිමු