Skip to Content

Article 2 - දැව හඳුනාගනිමු

 අපි පළමු ලිපියෙන් දැව ආරක්ෂණය පිලිබඳව මූලික අදහස් කිහිපයක් සාකච්ඡා කලෙමු. 

දැව ආරක්ෂණය සහ කල්පැවැත්ම සැලකීමේදී දැව වල ගුණාංග පිලිබඳව දැන සිටීම අනිවාර්ය සාධකයකි. එහෙයින්ම මේ ලිපියෙන් දැව ගුණාංග පිලිබඳ මූලික කරුණු සලකා බලමු.

දැව යනු ශාකයක කඳ කොටස වේ. ශාකයක් යනු ස්වාභාවිකව ඇතිවන සහ වර්ධනය වන ජීවී කොටසක් නිසාවෙන්ම විවිධ දැව වර්ග වල මෙන්ම එකම කුලයේ එක් එක් ශාකයේද ගුණාංග එකිනෙකට වෙනස් වේ. එහෙයින්ම දැව පිලිබඳ හැදෑරීම වඩාත් පුළුල් ලෙස කල යුතු වේ. නමුත් මේ ලිපියෙන් දැව භාවිතයේදී අප දැනගත යුතු මූලික කරුණු පමණක් කෙටියෙන් සාකච්ඡා කරමු.

අදවන විට අපට පහසුවෙන් ලබාගත හැකි මෙන්ම බහුල වශයෙන් ඉදිකිරීම් සහ ගෘහභාණ්ඩ ක්ෂේත්‍රවලදී භාවිතා කරන දැව වර්ග ඇත්තේ අතලොස්සකි. තේක්ක, මැහෝගනී, කොස්, අඹ, නැදුන්, පාරමාර, ලුණුමිදෙල්ල, කුඹුක් වැනි ඉතා සුලු ප්‍රමාණයක් දේශීය දැව වර්ග බොහෝ විට භාවිත වේ. නමුත් සිය ගණනක් දේශීය දැව වර්ග ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත හැකි බව ඔබ දන්නවාද? ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ දැව ශාක පොතෙහි මෙවැනි දැව ශාක වර්ග 250ක තොරතුරු සහ සියයකට අධික ප්‍රමාණයක විස්තරාත්මක තොරතුරු අඩංගු වේ. මෙවැනි තොරතුරු පරිහරණය තුලින් වැඩි ජනප්‍රියත්වයක් නැති එහෙත් අපගේ අවශ්‍යතාවයන්ට වඩාත්ම ගැලපෙන දැව තෝරාගත හැකිය.

දැව ගුණාංග ගැන කතා කරන විට දැවයෙහි වර්ණය සහ වයනය (texture), වයිරම, ඝනත්වය, ශක්තිය, වැඩ කිරීමේ ගති ලක්ෂණ සහ පහසුව, හැකිලීමේ සහ සංචලන හැසිරීම, ස්වාභාවික කල්පැවැත්ම, පදම්කිරීමේ හා පරිරක්ෂණය කිරීමේ හැකියාව ආදිය ප්‍රධාන වේ.

දැවයන්හි වර්ණය දැව වර්ගය අනුවද එලය (sapwood) සහ අරටුව (heartwood) අනුවද වෙනස්වේ. අන්තර්ජාතික වර්ගීකරණයන්ට අනුව දැව වර්ණය කාණ්ඩ 5ක් යටතේ අපට හඳුනාගතහැක.  

  • දුඹුරු හෝ දුඹුරු පාටට හුරු
  • රතු හෝ රතු පාටට හුරු
  • කහ හෝ කහ පාටට හුරු
  • සුදු පාටේ සිට අලු පාටට හුරු
  • අරටුව සමඟ ඉරි පිහිටා ඇති සහ ඉහත වර්ගීකරණයන්ට නොගැනෙන වර්ණ

මෙසේ කාණ්ඩ කිරීමේදී දැව අරටුවේ වර්ණය පදනම් කරගෙන ඇත. බොහෝවිට එලයෙහි පැහැය අරටුවට වඩා ලා පැහැයෙන් යුක්ත වේ. එමෙන්ම සමහර දැවවල බාහිරට නිරාවරණය වීමේදී වර්ණය වෙනස්වීමට ලක්වේ. සමහර අවස්ථාවලදී දැව පරිරක්ෂණය හෝ පදම් කිරීමේදීද වර්ණය වෙනස් විය හැකිය. ඔබ වුඩ් ප්‍රිසවේටිව් (wood preservative) තෝරාගැනීමේදී දැවයෙහි වර්ණය හා පෙනුම වෙනස් නොවන එකක් තෝරාගැනීම වැදගත්වේ.

දැව වයිරම විශේෂයෙන් පෙනුම සම්බන්ධයෙන් සැලකීමේදී වැදගත්වේ. දැව වර්ගය සහ දැවය ඉරන ආකාරය අනුව ලැබෙන වයිරම වෙනස්වේ. මේ නිසා අපට අවශ්‍ය වයිරම ලැබෙන ආකාරයට දැව ඉරාගැනීමද වැදගත්වේ. වයිරමට අමතරව දැවයෙහි සංචලන හා හැකිලීමද දැවය ඉරන ආකාරය අනුව වෙනස් වන බව සිහිපත්කිරීම වටී.  සෘජු වයිරම, අක්‍රමවත් වයිරම, විකර්ණාකාර වයිරම, සර්පිලාකාර වයිරම, පූට්ටු වයිරම, තරංගාකාර වයිරම ආදී ලෙසින් දැව වයිරම වෙන්කර හඳුනාගත හැකිය.

දැව වයනයද (wood texture) දැව යෙදවුමේ අවසන් නිමාව සලකන කල වැදගත් ගුණාංගයකි. දැවයෙහි මෘදු හා තද බව, වාර්ෂික හා සෘතුමය  වර්ධන වෙනස්වීම් හේතුවෙන් වෙනස් ආකාරයේ වයනයන් ඇතිවේ. ගෝරෝසු වයනය, සියුම් වයනය, සම වයනය හා අසම වයනය ලෙසින් අපට දැව වයනයන් කාණ්ඩ කර හඳුනාගත හැකිය.

දැව හැකිලීම හා සංචලනය (Shrinkage and movement) වීමේ හැකියාවද යෙදවුම අනුව ඉතා වැදගත්කොට සැලකිය යුතු ගුණාංගයකි. දැවය තුලට ජලය උරාගෙන ඉදිමීමද, ජලය ඉවත්වනවිට හැකිලීමද දැව වල පොදු ලක්ෂණයකි. නමුත් මෙහි ප්‍රමාණය දැව වර්ගය අනුව වෙනස් වේ. විශේෂයෙන් ගෙබිමට හෝ දොර ජනෙල් වලට හැකිලීම වැඩි දැව යොදාගත්විට සිදුවන අපහසුතා සහ හානිය ඔබ දැක ඇති.  දැව ඉරා ගන්නා ආකාරය අනුවද මෙම හැකිලීම වෙනස් වේ. දැව කොටසක ස්පර්ශ තලයෙහි වැඩිම හැකිලීමක් පෙන්වන අතර කඳේ දිග අතට අවම හැකිලීමක් ඇත. අරීය අක්ෂය ඔස්සේ මධ්‍යස්ථ හැකිලීමක් පෙන්වයි.

දැවයක ගුණාංග අතර දැව ඝනත්වය ප්‍රධාන තැනක් උසුලයි. දැව ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් ප්‍රකාශ කෙරෙයි. දැව වර්ගය අනුව එහි අරටුවෙහි සහ එලයෙහි සාමාන්‍ය ඝනත්ව අගයන් ඊට අදාල තොරතුරු පරිහරණයෙන් දැනගත හැකිය.   EN-350-2 වැනි තත්ත්ව සම්මතයන්ට අදාල තොරතුරු වලින් හෝ ඉහතින් සඳහන් කල පොත වැනි මූලාශ්‍ර වලින් අපට මේ තොරතුරු ලබාගත හැකිය. නමුත් එකම ගසක වුව කඳේ මැද සිට ඉවතට යනවිට සහ මුල සිට ඉහලට යනවිට මෙම ඝනත්වය වෙනස්වේ. ඝනත්වය අනුව දැව පොදු ව්‍යවහාරයේදී මෘදු දැව (soft wood) සහ තද දැව(hard wood) ලෙස වර්ගීකරණය කර තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමේදී විශේෂයෙන් සැලකිය යුතු තවත් ගුණාංගයක් වන්නේ දැවයෙහි ශක්තිමත් බවයි. බාහිරින් යොදන බලයකට ඇති ප්‍රතිරෝධීතාවය, නැත්නම් ඔරොත්තුදීම දැවයෙයි ශක්තිමත් බවයි. මෙහිදී ආතතිය, සම්පීඩනය, දැව පැලීම ආදී කරුණු ගැන සලකා බැලිය යුතුයි. දැව කැබැල්ලක් එක් ශක්ති වර්ගයකට හොඳින් ඔරොත්තු දෙනමුත් තවත් එකක් ඉදිරියේ දුර්වල විය හැකිය.

දැව වර්ගය අනුව එහි අරටුවෙහි ස්වාභාවික කල් පැවැත්ම වෙනස් වේ. මෙහිදී පරීක්ෂණ මඟින් එක් එක් දැවයෙහි ස්වාභාවික කල්පැවැත්ම නිර්ණය කර ඉතා කල් පවතින, කල් පවතින, මධ්‍යස්ථ කල් පවතින සහ කල් නොපවතින ලෙස වර්ගීකරණය කර තිබේ. ඉතා හොඳ කල් පැවැත්මක් ඇති දැව කිසිම පදම් කිරීමකින් හෝ ආරක්ෂණයකින් තොරව දිගුකලක් භාවිත කල හැකිය. නමුත් එසේ නොවන දැව නිවැරදි ආරක්ෂණ ක්‍රම යොදා ආරක්ෂණය කිරීමෙන් ඉතා දිගුකලක් රැක ගත හැකිය.

මෙහිදී දැව වර්ගය සහ ඊට හානි සිදුවිය හැකි ක්‍රම (කෘමිහානි, කාලගුණික හෝ දේශගුණික සාධක, භාවිතය අනුව සිදුවිය හැකි වෙනත් හානි ) අනුව ගැලපෙන නිවැරදි ආරක්ෂණ විසඳුම් දැන් තිබේ. දැව පදම් කිරීම සහ ආලේපන මඟින් නිවැරදිව දැව රැකගත හැකිය.

දැව පදම් කිරීම යනු දැවයෙහි ඇති ජලය ඉවත් කිරීම, පරිරක්ෂක (preservative) යොදා කෘමිහානි වලින් ආරක්ෂාව සැලසීම වැනි කොටස් කිහිපයකට සිදුවේ. ඔබ පදම් කල දැව ලබා ගන්නේ නම් එම පදම් කල ආකාරය පිලිබඳ දැනගැනිම වැදගත් වන්නේ එහෙයිනි. දැව පදම් කිරීම සහ ආරක්ෂණය ඉතා දීර්ඝව කතාකලයුතු මාතෘකාවක් නිසා ඉදිරියේදී අපි වෙනම මේ ගැන සකච්ඡාකිරීම උචිත වේ.

මීලඟ ලිපියෙන් අපි දැව ආරක්ෂණය පිලිබඳව තව බොහෝ කරුණු සාකච්ඡා කරමු.

 

Article 1 - දැව, දැව ආරක්ෂණය සහ ගෝරි දැව ආරක්ෂණ විසඳුම්