දැව, දැව ආරක්ෂණය සහ ගෝරි දැව ආරක්ෂණ විසඳුම් පිලිබඳව ලියවෙන ලිපි පෙලක පළමු ලිපියයි මේ.
වසර දහස් ගණනක් ඈතට දිවෙන අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අපි ස්වාභාවධර්මයත් සමඟින් බැඳුනු සොබාදහමට ලැදිවූ පරිසර හිතකාමී ඉදිකිරීම් තාක්ෂණයක නිමැවුම්කරුවන්ගේ දූපුතුන් වෙමු. දැනට ඉතිරිව ඇති නිර්මාණ සහ මෑත ඉතිහාසයේදී ග්‍රාමීය පරිසරයේ අපි අත්දුටු ඉදිකිරීම් මීට මොනවට සාක්ෂි සපයයි. එමෙන්ම දැව හා බැඳුනු කැටයම්, මූර්ති සහ ගෘහභාණ්ඩ ආදී අද්විතීය නිර්මාණ කලාවන්ද අප සතුවූ බවට සාක්ෂි අදටත් ශේෂවූ එම ශිල්පී පරම්පරාවන් සාක්ෂි දරයි.
නමුත් දැයේ අවාසනාවට මේ හා බැඳුනු දැව ආරක්ෂණ තාක්ෂණය යටත් විජිත යුගයත් සමඟම වැලළීගොස් තිබේ. අප සතු එකම පාරම්පරික දැව ආරක්ෂණ විසඳුම ඩීසල් සහ කපුරු යැයි සිතන තරමට සමාජය මේ විෂයය ගැන දැනුමෙන් ඈත්වීම අවාසනාවකි.
ඒ කෙසේ වුවත් දැව යනු අදටත් බහුලව ඉදිකිරීම් සහ වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනෙන පරිසර හිතකාමීම අමුද්‍රව්‍යයකි. ස්වාභාවිකවම දැව වලට ලැබී ඇති ආකර්ශණීය පෙනුම, එකකට එකක් වෙනස් වයිරම් රටා, භාවිතයේ පහසුව මෙන්ම ස්පර්ෂයේදී හා ඇසට ගෙනෙන සුවදායී හැඟිම අප තවදුරටත් දැව හා බඳවා තබාගනියි.
එහෙත් අවශ්‍ය ඉල්ලුමට දැව නිෂ්පාදනය නොවීම වනාන්තර විනාශය වැඩි කරමින් මුලු ලොවටම බලපාන පරිසර තර්ජනයක් වී තිබේ. මීට විසඳුමක් ලෙස දැව භාවිතය අඩුකිරීම වෙනුවට භාවිත කරන දැව චිරාත් කාලයක් රැක ගැනීම යුගයේ අවශ්‍යතාවයයි. දැව ආරක්ෂණ විසඳුම් අවශ්‍යවන්නේ ඒ වෙනුවෙනි.
දැව ආරක්ෂක හෝ දැව ආරක්ෂණ ආලේපන යැයි කියූ සැණින් ලාංකිය බොහෝ දෙනාගේ සිහියට එන්නේ කෘමිහානි වලින් දැව රැක ගැනීම හා ඒ සඳහා යොදා ගන්නා වුඩ් ප්‍රිසර්වේටිව් (wood preservative) බව අප දනිමු. නමුත් දැව ආරක්ෂණය යනු ඉන් ඔබ්බට ගිය, ඕනෑම හානිකර සාධකයකින් දැව ආරක්ෂා කරගැනීම සඳහා වූ තාක්ෂණයයි. කෘමිහානි මෙන්ම කාළගුණික හෝ දේශගුණික සාධක, භාවිතයේදී වන හානි ඇතුලු සියලු හානි වලින් දැව රැක ගැනිම සඳහා විසඳුම් මීට අයත් වේ.
GORIහි අප කැපවන්නේ මේ ආකාරයෙන් දැව වලට හානි කරන සියලු සාධක වලින් දැව ආරක්ෂා කලහැකි විසඳුම් ඔබට ලබාදීමටයි
මෙහිදී දැව යොදාගන්නා ස්ථානය සහ යෙදවුම අනුව ඊට හානි සිදුවිය හැකි සාධක වෙනස් වේ. මේ තත්ත්වයන් හඳුනාගෙන ඒවාට ගැලපෙන නිවැරදිම විසඳුම ලබාදීමෙන් දැව වල දිගුකල් පැවැත්ම සුරක්ෂිත වේ. උදාහරණ ලෙස පිටත අව්වට වැස්සට නිරාවරණය වන දැව භාණ්ඩයක් සහ ඇතුලත පිහිටි භාණ්ඩයක් සඳහා එකම විසඳුම නොගැලපේ. එමෙන්ම පිටත දැව ඩෙක් එකක් වැනි දෙයක් සැලකූ කල එය වෙනස්ම සාධක වලට ලක්වේ. මේ ආකාරයෙන් දැව යෙදවුම, ස්ථානය, දැව වර්ගය ආදී බොහෝ සාධක සැලකිල්ලට ගෙන නිවැරදිම ආරක්ෂණ විසඳුම නිර්දේශ කල යුතුවේ.
මෙහිදී ඊට යොදා ගන්නා ආලේපනයේ හෝ රසායනිකයේ තාක්ෂණයද සැලකිය යුතු වැදගත් සාධකයකි. ඔයිල්, ස්ටේන්, ලැකර්, වාර්නිශ්, NC ආදී ලෙසින් විවිධ කාණ්ඩ යටතේ දැව ආලේපන නිපදවේ. දැව යෙදවුම අනුව ඊට ගැලපෙන ආරක්ෂණය සඳහා නිවැරදි තාක්ෂණික කාණ්ඩය තෝරාගතයුතුය.
එමෙන්ම අප භාවිත කරන ආරක්ෂණ ආලේපන හෝ තීන්ත මඟින් දැවයට වන බලපෑම ගැනද සැළකිය යුතුවේ. උදාහරණයක් ලෙස සමහර ආලේපන ආලේප කලවිට දැවයේ ඉරිතැලීම හෝ පුපුරායෑම් වැඩිවන බව ඔබ දැක ඇති. ඇතුලත හා පිටත වායු පීඩන අසමතුලිත වූවිට මේ තත්ත්වය ඇතිවේ. මීට විසඳුම වන්නේ මයික්‍රෝ පෝරස් සහිත ආලේපනයක් යොදාගැනීමයි.
අදවන විට "වෝටර්බේස්" මිත්‍යාවෙන් මේ සියලු සාධක යටපත් වී සියල්ලට එකම විසඳුම යොදාගෙන පසුතැවිලිවන බොහෝ අවස්ථා අප දැක ඇත්තෙමු.
මේ සියල්ල ගැන සිතා දැව ආරක්ෂණය පිලිබඳ නිවැරදි දැනුම සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අපි තේරුම් ගත්තෙමු. ඒ අරමුණින් දැව, දැව ආරක්ෂණය සහ ඒ සඳහා වූ නිවැරදි තාක්ෂණය පිලිබඳව වූ මේ ලිපි පෙල සතියකට අවම වශයෙන් එක ලිපියක් බැගින් අපගේ ෆේස්බුක් පිටුව හරහා පලකෙරෙනු ඇත.
මේ පිලිබඳව ඔබගේ යෝජනා, චෝදනා, අදහස් සහ නව දැනුම කමෙන්ට් කිරීමෙන් අප යායුතු මාර්ගය නිවැරදි කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු. රටක් ලෙස අපට අවශ්‍ය, අපට ගැලපෙන අපේම දැනුම් සම්භාරයක් ගොඩනගාගන්නට අපි සාමූහිකව කැපවෙමු.